Monday, January 10, 2011

-ලංගමයට ගොඩවීමි-

ට්‍රීං....ට්‍රීං....ට්‍රීං...ෂිට්!!!!! ඒ ඇහුණෙ පාන්දර හතරට අවදි වෙන්න හිතාගෙන කලින්දා රෑ තිබ්බ එලාම් ඔරලෝසුවෙ සද්දේ....හදිස්සියෙම හෙණ පාරක් වැදුනා වගේ කැඩිලා බිදිලා ගිය හීනෙ ගැන දුකෙන් වුනත් මම ඇදෙන් බැහැ ගත්තෙ අද යන්න තිබුණු ගමන ගැන හිතලමයි...කොළඹ කියන්නෙ මහා සංවර්ධිත රටක වෙළද අගනගරෙ වුණාට මොකෝ ගමේ ගිහින් ආපහු කොළඹ එන්න ගියාම බස් එකේදිම හොද පණ යනවා....ආදරණීයයන්ගෙන් ඈත් වෙලා කොළඹ යන්න ඕන නේද කියලා හිතනකොටම මාස ගාණකටත් කලින් කාපු බිපු ඒවත් ඔක්කොම එකතුවෙලා ඔක්කාරෙට එන්න යනවා වගේ මහා අපහසුවක් මගෙ හිතටයි ඇගටයි දැනෙන්න ගත්තා..." ඔන්න ඔහෙ කමක් නෑ...තව ටික කාලයයිනෙ" මට හිතුණා....අවුරුදු කීපයක්ම නිදිවරාගෙන මහන්සි වෙලා වෙලා කොළඹ රටේ විශ්ව විද්‍යාලෙට ගොඩවෙලත් දැන් අවුරුදු හතරක් ගෙවිලා....මේ යන්නෙ අන්තිම අවුරුද්ද....එහෙම හිතලා ඇද ලග දෙපැත්තට විසිවෙලා තිබ්බ සෙරෙප්පු දෙක හොයලා කකුලට ලං කරගත්තු මම යාන්තම් දෙපයට වාරු අරන් කුස්සිය දිහාවට ගියා.....
සාමාන්‍ය පෙළ ඉවර වුණු ගමන් හන්දා ඒ සැහැල්ලුවට මල්ලි නම් හොද සැපට නිදි..."ඉන්නවකො තමුසෙ ෆුල් ජොලියෙ....තමුසෙ කැම්පස් යන දවසට මම ගෙදරනෙ...." වෙනදා හැමදාම මල්ලි එක්ක රණ්ඩුවට අර අදින විදිහට අදත් එයාගෙ ඇදට පැනලා රණ්ඩු වෙන්නත් මට හිතුනා....ඒත් පොඩි එකා පව් කියලා හිතිල දොර රෙද්ද පහලට දාල මම ආපහු හැරුනා..."මම ගියාම මල්ලිට පාලුයි" මට හිතුණා...මල්ලිගෙ භාෂාවෙන් නම් " පොඩී තමුසෙ ගියාම ගෙදර කිසි ගෝ එකක් නෑ".
ඔන්න ඇහැට කදුලක් එන්නයි යන්නෙ....මේ කදුල කිසිම වෙනසක් නැතුව පහුගිය අවුරුදු හතරෙම එකම විදිහට මගෙ ඇහැට ඉණුවා නේද කියලා මට හිතුනා......
"කරාස්....කරාස්"...අම්ම සීනි බෝතලේ පතුලෙම තියන සීනි ටික එක්කාසු කරනවා..."අම්ම මොකක්ද ඔයගෙ ලෝභ කම..අප්පච්චි ගෙනත් දෙනවා නම් ඔයාට තියෙන්නෙ ඒවා උයල අපට දෙන්නනෙ" ඉස්සර අම්ම ඔහොම කරද්දි මම අම්මට කියනවා...ඒත් අම්මා අරපිරිමැස්මයි..දැන් මම ඒක දන්නවා...ඉවෙන් වගේ මම අවදිවෙලා කියලා දැනගෙන අම්ම උදේ තේ එක හදලා....කෑම කාමරේ ඉදලා කුස්සියට බහින්න තිබුණ පඩි පහ හය පැය කාලක් විතර අරගෙන බැහැ ගත්තු මගෙ අතට තේ එක දුන්නෙ මගේ මූණ දිහා බලන්නෙ නැතුව...අම්ම හරි දුකෙන්....හැමදාම ගෙදර ඇවිත් මම යන දවසට අම්මා අඩනවා....මේ ආදරෙන් උණුසුමෙන් මිදිලා කොළඹ කඨෝර පොළොවෙ තනිවෙන්න මටත් ඕන නෑ...."ඒත් තව ටිකනේ...මම යන්න ඕන.." මම හිත තද කර ගත්තා..
 තේක බීල හනික කාමරේට ගිය මම කඩිමුඩියෙම යන්න ඇද පැලද ගත්තෙ ආයෙත් යන්න බෑ හිතෙන්න කලින්..බඩු ටිකත් අහුලගෙන බෑග් එකට දාගෙන කාමරෙන් එලියට එද්දි අප්පච්චිත් අවදි වෙලා....මල්ලිත් වදෙන් පොරෙන් ඇදෙන් බැහැලා ඇවිත්ද කොහෙද පුටුවකට වෙලා නිදි කිරනවා...පාන්දර තුනේ ඉදලම අවදිවෙලා රහට ගුනට අම්ම උයපු බත් එක ලහිපිටක හොද හැඩට ඔතලා ගෙනත් අම්මා මගෙ අතට දුන්නා.."අමතක නොකර දාගන්නවා තමුසෙගෙ දවල් දානෙ පාර්සලේ" මල්ලි කෑ ගැහුවා..කුස්සියට ගිය අප්පච්චි අම්මා උඩේ ඉදලම උයපු බත් එකෙන් හොද උණුවට බත් එකක් බෙදන් ඇවිත් මට කවන්න ගත්තා...කටක් දෙකක් කාපු මම "ඇති අප්පච්චි...මට කන්න බෑ...මම ඉන්නෙ දුකෙන්" කියලා කිව්වෙ තරමක් සැරෙන් වගෙදෝ කියලත් මට හිතුණා...ඒ තරමට එයාගෙ පෙරැත්තෙ....කොහොම හරි අම්මගෙයි  මල්ලිගෙයි දුක පිරුණු මූණු දහ දොලොස් වතාවක්ම ඉඹලා මම අප්පච්චි එක්ක වාහනේට ගොඩ වුණේ බස් නැවතුමට යන්න.....


"බුදු අම්මෝ සෙනග" මට කියවුණේ ඉබේටම වගේ...ඈතටම පේනවා බස් හෝල්ට් එකෙ ඉන්න සෙනග.99 නැවතුමේ නැංගුරම් දාගෙන උන්නු සෙනග දැකලා අප්පච්චිගෙත් මූණ ඇදවෙලා ගිහින්...අප්පච්චිගෙ නම් හිතම මාව අදත් තියාගන්න..."බෑ අප්පච්චි අද නම් යන්නම ඕන....හෙට අපට සබ්මිෂන් එකක්" මම කිව්වා... අන්තිමේ වාහනෙන් බැහැගත්තු අපි දෙන්නත් කොළඹ යන්න හිටිය අසූ හාරදාහක් මහා සෙනග අතරට එකතු වුණා බෑග් මලු උස්සගෙන.....


"අද ප්‍රයිවට් බස් වැඩ නෑල්ලු" කවුදෝ කියනවා මට ඇහුනා...."එහෙනම් ගිහින් ඉවරයි" ඒ තව කෙනෙක්.මම අප්පච්චි දිහා බැලුවෙ මහා අපරාදයක් වෙලා වගේ......"අනේ අප්ප්පච්චි මට නම් බෑ CTB බස් එකේ යන්න....ඒවයෙ නිදා ගන්න වත් බෑ..අනික සිංදුවක් වත් දාන්නෙත් නෑ" මම කිව්වා...අප්පච්චි මොනවත් කිව්වෙ නෑ...."වැරදිලා හරි මගක කැඩුණොත් එහෙම ඉවරයි..මෙහෙ ඩිපෝවෙන් යනකල් පාරෙ ඉන්න වෙන්නෙ" මම ආයෙත් කන්කෙදිරි ගෑවා....අප්පච්චි තරහ ගිහින් වගෙ මගෙ දිහා බැලුවා." කෑ නොගහ ඉන්නවා ළමයෝ...එහෙනම් හෙට මම ගිහින් අරින්නම්..අද මට මීටින් එකක්" අප්පච්චි කිව්වා....

 "ක්‍රාස්" අපේ නිහඩ බව බිදගෙන ආව ලංගම බස් එක හෝල්ට් එකෙ නතර කලා..මම ඇහැ යටින් වගේ ඒ දිහාව බැලුවෙ නොබලා බැරි කමට තරහ කාරයෙක් දිහා බලනවා වගේ...
අනේ නෑ...හරිම සිරියාවයි....වෙනදා ප්‍රයිවට් බස් එකෙන් ගෝරණාඩුව දාගෙන බැහැගන්න මරුමුස් පැණි බේරෙන කොන්දොස්තර කොලුවා වගේ නෑ...බස් එකෙන් බැස්සෙ හොද පිළිවලට ඇද ගත්තු සිරියාවන්ත තරුණ කොල්ලෙක්...මොකක්දෝ උගත් කමකින් මෙහෙයවපු සංවර කමක් එයාගෙ තියනවා මම දැක්කා....කොටින්ම කොන්දොස්තර මහත්තයෙක්... "අද අනික් බස් නෑ..කොළඹ යන අය නගින්න" එයා බොහොම නිවුණ හඩින් කීවෙ...කලබල වෙලා හිටි සෙනගත් සංවරව බසයට ගොඩ වෙන්න ගත්තා...හැමදාම වගේ සෙනග පීරගෙන ගිහින් අප්පච්චි මට කලින් බස් එකට ගොඩ වෙලා ජනේලෙ අයිනෙ තිබුණු ෂීට් එකක් ඇල්ලුවා...මම සෙනග අඩු වෙන්න ඇරලා බස් එකට ගොඩ වුණේ "අද ඉතින් ඔලුවෙත් එක්ක සෙනග ඉදී" කියල හිතාගෙනමයි. "සෙනග ෂීට් ගාණට විතරයි...හිටගෙන යන්න නගින්න එපා" කොන්දොස්තර මහත්තයා එලියෙ හිටි අයට කිව්වා....ඒ එක්කම ඈතින් අනික් බස් එක එනවා මට වීදුරුවෙන් පෙණුනා...."වෙලාව හරි" කවුදෝ කිව්වා...ඒ එක්කම බස් එකට රියදුරු මහත්මයා ගොඩ උනා....වයසයි...ඒත් හරිම සංසුන් පාටයි....බසය එංජිම ක්‍රියාත්මක උනා...මගෙ දිහාට නැවුනු අප්පච්චි ආයෙමත් මගෙ ඔලුව ඉඹලා බැහැලා ගියා...ලංගම බසය එයටම ආවේණික වේගයෙන් ඉදිරියට ඇදුණා....


ටිකට් දීලා ඉවර කරපු කොන්දොස්තර මහත්මයා ඉදිරියට ගියා...රේඩියෝව ක්‍රියා කරවන්නයි ලෑස්තිය.. "දෑස පියා ගත්කල මට පෙනෙන්නෙ ඔබෙ රුව...ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ" බසය පුරාම ලයාන්විත නාදයක් පැතිරිලා ගියා...හරි පුදුමයි....වෙනදා කොළඹ යද්දි බස් එකෙ එකම ගාල ගෝට්ටියක්..කොත්තු කඩයක් වගෙ...එකම පාරෙ යන එකම පොදු ප්‍රවාහන සේවයක් මෙහෙම වෙනස් වුණේ කොහොමද..මට හිතුනා...මම හෙමිහිට ඇස් පියා ගත්තා....

 "ඇත්තටම මේ අවුරුදු හතරටම ඇයි මම නිකමට වත් ලංගම බස් එකක කොළඹ නොගියෙ..ඇයි මට ඒව නොපෙණුනේ" මම හිතුවා......

 හපුතලේට යද්දි ගෙදරින් කෝල් එකක්....අප්පච්චි " කොහොමද පොඩී කරදරයක් නෑ නේද...ටිකට් ගත්තද..කවුද ලග ඉන්නෙ....සෙනග ගොඩයිද" ප්‍රශ්න කෝටියයි...."කොත්තු කඩේ වගේද බස් එක" ඈත ඉදන් මල්ලිත් කෑ ගහනවා ඇහුණා..." නෑ අප්පච්චි...සේරම හරිම හොදයි...මේ බස් එක ෂෝක්" මම හෙමිහිට කිව්වා...

 " ඕක තමා පුතේ, සමහර දේවල් අපි කිව්වට වැඩක් නෑ...විදලම ඉගෙන ගන්න ඕන...මම පුතාට අවුරුදු හතරම කිව්වනෙ...ප්‍රයිවට් බස් එකට වඩා හෙමින් ගියත් CTB බස් එක හොදයි..." අප්පච්චි අන්තිමට කිව්වා....එයා කිව්ව කතාව මම ගොඩක් දුර යනකල්ම හිතුවා...වෙනදා මග දිගට සෙනග පටව පටව පැය හතක් යන ගමන අද ඉබි ගමනින් ගිහිනුත් පැය පහෙන් ඉවරයි....

5 comments:

  1. හපෝයි ලංගම බස් මතක් වෙනකොට මගෙත් බඩ දඟලනවා............. :D

    ReplyDelete
  2. "ඕක තමා පුතේ, සමහර දේවල් අපි කිව්වට වැඩක් නෑ...විදලම ඉගෙන ගන්න ඕන..."
    මේකනම් මසුරන් වටින කතාවක්.

    ReplyDelete
  3. හිතන තරම් යකා කළු නෑ කියන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට තමයි....

    ReplyDelete
  4. එකනේ අපි පන්ඩිත්යෝ වගේ හිතාගෙන ඉන්නේ අපි තාත්තලාට වඩා දන්නවා කියලා නේ!!! එත් එහෙම නෑ!! තාත්තලාට අත්දැකීම් තියනවා!! මමත් කලින් හිතාගෙන හිටියේ මම තාත්තාට වඩා දන්නවා කියලා එත් පස්සෙ දවසක සිද්ධියකට පස්සේ මම ඒ අදහස අතඇරගත්තා

    ReplyDelete
  5. හැමදාමත් මම ඉස්කෝලේ ගියේ ලංගමයේ , ඔබේ අපුරු ලිපිය මගේ ඒ සුන්දර අවදිය මතකයට රැගෙන ආවා
    .

    ReplyDelete