Saturday, January 22, 2011

-දන්වමි-

හදිසියේ මළ
ඉල්මහේ පෙම...තුන්මහේ බණ
දුරුතේ බව...

Tuesday, January 11, 2011

නිබන්ධන supervisor වරිය වෙත ලියමි,

අනේ මන්දා
ඇයිද මන්දා
අන්දමන්දයි
මම "අමන්දා"......

නැතුව නින්දා
ලිවුව හින්දා
හරිද මන්දා
මම "අමන්දා".......

ඇයිද මන්දා
මෙහෙම නින්දා
අදත් බින්දා
හිත "අමන්දා".....

නොකර නින්දා
ඇතුව කම්පා
හොදම ලිව්වොත්
නුඹ "අමන්දා".....අනිවා A +  මට "අමන්දා"
කුමට නින්දා
නුඹට භාරයි මම "අමන්දා"........

-හත්දා වැහි-






අනේ ඇත්තට ආන් ඊසානෙ
රටෙන් භාගයක් නාය යවල
ඉතිරි භාගෙම ගංවතුරෙන් වහල
මහා වැව් වල වැව්බැමිත් බිදල....
වාරිමාර්ග ඉංජිනේරුවන්ට
නිවාඩුත් තහනම්
එතකොට බබාල අම්මලා සේරම
ඉස්පිරිතාලෙට...දොස්තරලට නෝහෙල්ලුම්
රටම හොල්ලන්....වහින වැස්සට
ඉස්කෝල සේරම වහල....
අප්පච්චියේ!!!! එකී මෙකී විපත් සේරම අස්සේ
ආන් අර කාණ්ඩෙ කතිර යුද්දෙකට
අර අදිනවා...අනේ කාලේටලුනේ වනේ වාසෙත්.....

Monday, January 10, 2011

-ලංගමයට ගොඩවීමි-

ට්‍රීං....ට්‍රීං....ට්‍රීං...ෂිට්!!!!! ඒ ඇහුණෙ පාන්දර හතරට අවදි වෙන්න හිතාගෙන කලින්දා රෑ තිබ්බ එලාම් ඔරලෝසුවෙ සද්දේ....හදිස්සියෙම හෙණ පාරක් වැදුනා වගේ කැඩිලා බිදිලා ගිය හීනෙ ගැන දුකෙන් වුනත් මම ඇදෙන් බැහැ ගත්තෙ අද යන්න තිබුණු ගමන ගැන හිතලමයි...කොළඹ කියන්නෙ මහා සංවර්ධිත රටක වෙළද අගනගරෙ වුණාට මොකෝ ගමේ ගිහින් ආපහු කොළඹ එන්න ගියාම බස් එකේදිම හොද පණ යනවා....ආදරණීයයන්ගෙන් ඈත් වෙලා කොළඹ යන්න ඕන නේද කියලා හිතනකොටම මාස ගාණකටත් කලින් කාපු බිපු ඒවත් ඔක්කොම එකතුවෙලා ඔක්කාරෙට එන්න යනවා වගේ මහා අපහසුවක් මගෙ හිතටයි ඇගටයි දැනෙන්න ගත්තා..." ඔන්න ඔහෙ කමක් නෑ...තව ටික කාලයයිනෙ" මට හිතුණා....අවුරුදු කීපයක්ම නිදිවරාගෙන මහන්සි වෙලා වෙලා කොළඹ රටේ විශ්ව විද්‍යාලෙට ගොඩවෙලත් දැන් අවුරුදු හතරක් ගෙවිලා....මේ යන්නෙ අන්තිම අවුරුද්ද....එහෙම හිතලා ඇද ලග දෙපැත්තට විසිවෙලා තිබ්බ සෙරෙප්පු දෙක හොයලා කකුලට ලං කරගත්තු මම යාන්තම් දෙපයට වාරු අරන් කුස්සිය දිහාවට ගියා.....
සාමාන්‍ය පෙළ ඉවර වුණු ගමන් හන්දා ඒ සැහැල්ලුවට මල්ලි නම් හොද සැපට නිදි..."ඉන්නවකො තමුසෙ ෆුල් ජොලියෙ....තමුසෙ කැම්පස් යන දවසට මම ගෙදරනෙ...." වෙනදා හැමදාම මල්ලි එක්ක රණ්ඩුවට අර අදින විදිහට අදත් එයාගෙ ඇදට පැනලා රණ්ඩු වෙන්නත් මට හිතුනා....ඒත් පොඩි එකා පව් කියලා හිතිල දොර රෙද්ද පහලට දාල මම ආපහු හැරුනා..."මම ගියාම මල්ලිට පාලුයි" මට හිතුණා...මල්ලිගෙ භාෂාවෙන් නම් " පොඩී තමුසෙ ගියාම ගෙදර කිසි ගෝ එකක් නෑ".
ඔන්න ඇහැට කදුලක් එන්නයි යන්නෙ....මේ කදුල කිසිම වෙනසක් නැතුව පහුගිය අවුරුදු හතරෙම එකම විදිහට මගෙ ඇහැට ඉණුවා නේද කියලා මට හිතුනා......
"කරාස්....කරාස්"...අම්ම සීනි බෝතලේ පතුලෙම තියන සීනි ටික එක්කාසු කරනවා..."අම්ම මොකක්ද ඔයගෙ ලෝභ කම..අප්පච්චි ගෙනත් දෙනවා නම් ඔයාට තියෙන්නෙ ඒවා උයල අපට දෙන්නනෙ" ඉස්සර අම්ම ඔහොම කරද්දි මම අම්මට කියනවා...ඒත් අම්මා අරපිරිමැස්මයි..දැන් මම ඒක දන්නවා...ඉවෙන් වගේ මම අවදිවෙලා කියලා දැනගෙන අම්ම උදේ තේ එක හදලා....කෑම කාමරේ ඉදලා කුස්සියට බහින්න තිබුණ පඩි පහ හය පැය කාලක් විතර අරගෙන බැහැ ගත්තු මගෙ අතට තේ එක දුන්නෙ මගේ මූණ දිහා බලන්නෙ නැතුව...අම්ම හරි දුකෙන්....හැමදාම ගෙදර ඇවිත් මම යන දවසට අම්මා අඩනවා....මේ ආදරෙන් උණුසුමෙන් මිදිලා කොළඹ කඨෝර පොළොවෙ තනිවෙන්න මටත් ඕන නෑ...."ඒත් තව ටිකනේ...මම යන්න ඕන.." මම හිත තද කර ගත්තා..
 තේක බීල හනික කාමරේට ගිය මම කඩිමුඩියෙම යන්න ඇද පැලද ගත්තෙ ආයෙත් යන්න බෑ හිතෙන්න කලින්..බඩු ටිකත් අහුලගෙන බෑග් එකට දාගෙන කාමරෙන් එලියට එද්දි අප්පච්චිත් අවදි වෙලා....මල්ලිත් වදෙන් පොරෙන් ඇදෙන් බැහැලා ඇවිත්ද කොහෙද පුටුවකට වෙලා නිදි කිරනවා...පාන්දර තුනේ ඉදලම අවදිවෙලා රහට ගුනට අම්ම උයපු බත් එක ලහිපිටක හොද හැඩට ඔතලා ගෙනත් අම්මා මගෙ අතට දුන්නා.."අමතක නොකර දාගන්නවා තමුසෙගෙ දවල් දානෙ පාර්සලේ" මල්ලි කෑ ගැහුවා..කුස්සියට ගිය අප්පච්චි අම්මා උඩේ ඉදලම උයපු බත් එකෙන් හොද උණුවට බත් එකක් බෙදන් ඇවිත් මට කවන්න ගත්තා...කටක් දෙකක් කාපු මම "ඇති අප්පච්චි...මට කන්න බෑ...මම ඉන්නෙ දුකෙන්" කියලා කිව්වෙ තරමක් සැරෙන් වගෙදෝ කියලත් මට හිතුණා...ඒ තරමට එයාගෙ පෙරැත්තෙ....කොහොම හරි අම්මගෙයි  මල්ලිගෙයි දුක පිරුණු මූණු දහ දොලොස් වතාවක්ම ඉඹලා මම අප්පච්චි එක්ක වාහනේට ගොඩ වුණේ බස් නැවතුමට යන්න.....


"බුදු අම්මෝ සෙනග" මට කියවුණේ ඉබේටම වගේ...ඈතටම පේනවා බස් හෝල්ට් එකෙ ඉන්න සෙනග.99 නැවතුමේ නැංගුරම් දාගෙන උන්නු සෙනග දැකලා අප්පච්චිගෙත් මූණ ඇදවෙලා ගිහින්...අප්පච්චිගෙ නම් හිතම මාව අදත් තියාගන්න..."බෑ අප්පච්චි අද නම් යන්නම ඕන....හෙට අපට සබ්මිෂන් එකක්" මම කිව්වා... අන්තිමේ වාහනෙන් බැහැගත්තු අපි දෙන්නත් කොළඹ යන්න හිටිය අසූ හාරදාහක් මහා සෙනග අතරට එකතු වුණා බෑග් මලු උස්සගෙන.....


"අද ප්‍රයිවට් බස් වැඩ නෑල්ලු" කවුදෝ කියනවා මට ඇහුනා...."එහෙනම් ගිහින් ඉවරයි" ඒ තව කෙනෙක්.මම අප්පච්චි දිහා බැලුවෙ මහා අපරාදයක් වෙලා වගේ......"අනේ අප්ප්පච්චි මට නම් බෑ CTB බස් එකේ යන්න....ඒවයෙ නිදා ගන්න වත් බෑ..අනික සිංදුවක් වත් දාන්නෙත් නෑ" මම කිව්වා...අප්පච්චි මොනවත් කිව්වෙ නෑ...."වැරදිලා හරි මගක කැඩුණොත් එහෙම ඉවරයි..මෙහෙ ඩිපෝවෙන් යනකල් පාරෙ ඉන්න වෙන්නෙ" මම ආයෙත් කන්කෙදිරි ගෑවා....අප්පච්චි තරහ ගිහින් වගෙ මගෙ දිහා බැලුවා." කෑ නොගහ ඉන්නවා ළමයෝ...එහෙනම් හෙට මම ගිහින් අරින්නම්..අද මට මීටින් එකක්" අප්පච්චි කිව්වා....

 "ක්‍රාස්" අපේ නිහඩ බව බිදගෙන ආව ලංගම බස් එක හෝල්ට් එකෙ නතර කලා..මම ඇහැ යටින් වගේ ඒ දිහාව බැලුවෙ නොබලා බැරි කමට තරහ කාරයෙක් දිහා බලනවා වගේ...
අනේ නෑ...හරිම සිරියාවයි....වෙනදා ප්‍රයිවට් බස් එකෙන් ගෝරණාඩුව දාගෙන බැහැගන්න මරුමුස් පැණි බේරෙන කොන්දොස්තර කොලුවා වගේ නෑ...බස් එකෙන් බැස්සෙ හොද පිළිවලට ඇද ගත්තු සිරියාවන්ත තරුණ කොල්ලෙක්...මොකක්දෝ උගත් කමකින් මෙහෙයවපු සංවර කමක් එයාගෙ තියනවා මම දැක්කා....කොටින්ම කොන්දොස්තර මහත්තයෙක්... "අද අනික් බස් නෑ..කොළඹ යන අය නගින්න" එයා බොහොම නිවුණ හඩින් කීවෙ...කලබල වෙලා හිටි සෙනගත් සංවරව බසයට ගොඩ වෙන්න ගත්තා...හැමදාම වගේ සෙනග පීරගෙන ගිහින් අප්පච්චි මට කලින් බස් එකට ගොඩ වෙලා ජනේලෙ අයිනෙ තිබුණු ෂීට් එකක් ඇල්ලුවා...මම සෙනග අඩු වෙන්න ඇරලා බස් එකට ගොඩ වුණේ "අද ඉතින් ඔලුවෙත් එක්ක සෙනග ඉදී" කියල හිතාගෙනමයි. "සෙනග ෂීට් ගාණට විතරයි...හිටගෙන යන්න නගින්න එපා" කොන්දොස්තර මහත්තයා එලියෙ හිටි අයට කිව්වා....ඒ එක්කම ඈතින් අනික් බස් එක එනවා මට වීදුරුවෙන් පෙණුනා...."වෙලාව හරි" කවුදෝ කිව්වා...ඒ එක්කම බස් එකට රියදුරු මහත්මයා ගොඩ උනා....වයසයි...ඒත් හරිම සංසුන් පාටයි....බසය එංජිම ක්‍රියාත්මක උනා...මගෙ දිහාට නැවුනු අප්පච්චි ආයෙමත් මගෙ ඔලුව ඉඹලා බැහැලා ගියා...ලංගම බසය එයටම ආවේණික වේගයෙන් ඉදිරියට ඇදුණා....


ටිකට් දීලා ඉවර කරපු කොන්දොස්තර මහත්මයා ඉදිරියට ගියා...රේඩියෝව ක්‍රියා කරවන්නයි ලෑස්තිය.. "දෑස පියා ගත්කල මට පෙනෙන්නෙ ඔබෙ රුව...ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ" බසය පුරාම ලයාන්විත නාදයක් පැතිරිලා ගියා...හරි පුදුමයි....වෙනදා කොළඹ යද්දි බස් එකෙ එකම ගාල ගෝට්ටියක්..කොත්තු කඩයක් වගෙ...එකම පාරෙ යන එකම පොදු ප්‍රවාහන සේවයක් මෙහෙම වෙනස් වුණේ කොහොමද..මට හිතුනා...මම හෙමිහිට ඇස් පියා ගත්තා....

 "ඇත්තටම මේ අවුරුදු හතරටම ඇයි මම නිකමට වත් ලංගම බස් එකක කොළඹ නොගියෙ..ඇයි මට ඒව නොපෙණුනේ" මම හිතුවා......

 හපුතලේට යද්දි ගෙදරින් කෝල් එකක්....අප්පච්චි " කොහොමද පොඩී කරදරයක් නෑ නේද...ටිකට් ගත්තද..කවුද ලග ඉන්නෙ....සෙනග ගොඩයිද" ප්‍රශ්න කෝටියයි...."කොත්තු කඩේ වගේද බස් එක" ඈත ඉදන් මල්ලිත් කෑ ගහනවා ඇහුණා..." නෑ අප්පච්චි...සේරම හරිම හොදයි...මේ බස් එක ෂෝක්" මම හෙමිහිට කිව්වා...

 " ඕක තමා පුතේ, සමහර දේවල් අපි කිව්වට වැඩක් නෑ...විදලම ඉගෙන ගන්න ඕන...මම පුතාට අවුරුදු හතරම කිව්වනෙ...ප්‍රයිවට් බස් එකට වඩා හෙමින් ගියත් CTB බස් එක හොදයි..." අප්පච්චි අන්තිමට කිව්වා....එයා කිව්ව කතාව මම ගොඩක් දුර යනකල්ම හිතුවා...වෙනදා මග දිගට සෙනග පටව පටව පැය හතක් යන ගමන අද ඉබි ගමනින් ගිහිනුත් පැය පහෙන් ඉවරයි....

ඇස් පියාන නුඹෙ අම්මා-මල් කැකුලේ නුඹ සින්දා...

සීන් සිනිදු දිය රැල්ලක
පරෙස්සමට දවටාලා
ඈත ඈත සුර විමනෙන්
හදිස්සියෙන් නුඹ ආ දා
හීන හීන දුර අහසේ පියාඹන්න මට හිතුනා.....

රෝස රෝස රෝස කැලෙන්
හිටි හැටියෙම ආ හන්දා
ඒ කැලේට ආව පාර
කාටත් නොකියන හන්දා
පාට පාට මේ ලෝකෙට
එන්න කලින් නුඹ හංගා
ඇස් පියාන නුඹෙ අම්මා-මල් කැකුලේ නුඹ සින්දා...

එදා ඉදන් නුඹෙ අම්මා
නින්දක් නෑ දුක් වින්දා
හීන් හඩින් නුඹ මිමිණූ
කදුලු කවිය හිත හංගා
තුන් යාමෙම වහං වෙලා...හීන් සරින් ඉකිබින්දා....

පාට පාට පෙම් හීනෙට
හිටි හැටියේ නුඹ කැන්දා
වහං වෙච්චි අප්පොච්චා
රන් නූලක අත බන්දා...දුර ගමනක් ගොස් තිබුනා......

රාමලාන් හදට.....

ලිං පතුලට ගිය අම්මා....

අව් කටෝරෙට පොලොව ගිණිගත්
නියං උහුලන් උන්නාම නුඹ
මමයි ඇඩුවේ දිය පිපාසෙන්
මයේ අම්මේ නුඹට මතකද..........

කේඩෑරි වැව් මණ්ඩියේ වත්
දිය පොදක් නැති කල පිපාසෙට
ගම්දොරට වැද දියත්තක් අහුලන්න
හිතුනේ මටයි කරුමෙට........

දිය සිදී පතුලටම වේලුණු
ලිං කටින් පය වැරදිලා ගිය
මයේ අම්මේ හාමතේ නුඹ
වින්ද දහ දුක නැගෙයි සිහියට............

කිරි ගගක් ගැලුවත් පිපාසෙට
තනිකමක් දැනුනා අදත් මට
උන්න නම් අම්මේ අදත් නුඹ
ඉන්න තිබුණා උණුහුමට මට..........

දිය සිදුණු ලිං කටින් ලිස්සා....මටත් එන්නට හිතෙයි නුඹ වෙත........

-අප්පච්චීගේ නඩු දවස-

"උසාවිය නිශ්ශබ්ද වෙනු!"මුලු සභාගර්භයම කැලඹුවෙ තෝල්ක තැනගෙ විධානය....නේක ගරු ගාම්භීර ආටෝප මැද්දෙන් ගරුතර විනිසුරුතුමා අසුන් ගත්තා...ඔන්න උසාවි වාරය ඇරඹුනා...කුඩු කාරයො, මිනී මැරුම් සැකකාරයො, වැරදි කාරයො වුනු රියදුරන් ඔය සේරම එකම ගැස්මෙන් එක හුස්මෙන් ඉන්නවා තමන්ගෙ නඩු වාරය එනකල්....මම හෙමිහිට ඇස් අස්සෙන් අප්පච්චි දිහා බැලුවා...එක එල්ලෙම විනිසුරුතුමා දිහාට ඒ ඇස් දෙක යොමු වෙලා...ඒත් සිතුවිලි බොහෝම දුර අනන්තයට ගිහින් තියනවා මම දැක්ක...අප්පච්චිගෙ තදින් පියවුණු දෙතොල් වල වැරට දෙකොපුල් හෙමිහිට වෙව්ලනවා මට පෙණුනා...."අප්පච්චි පවු" හිත ඇතුලෙ කොහෙදෝ තිබිලා එලියට පැන්න සිතිවිල්ලකින් මගෙ මුලු සියොලගම හිරි වැටිලා ගියා...
අප්පච්චි පළාතම පිළිගත්තු හොද නිලයක් හොබවන රජයේ නිලධාරියෙක්...අම්ම කියල තියන විදිහට අප්පච්චිගෙ රජයේ සේවය අක්කගේ උපන් අවුරුද්දත් ඉක්මවා අතීතයට යන තරම් පරණයි...එයා හරිම අවංක යුක්ති ගරුක රජයේ සේවකයෙක්...එයාට අයිති නැති සතයක් වත් අප්පච්චි ගෙදරට ගෙනාවා මට මතකයක් නෑ....ඒත් එයා එයාට පුලුවන් හැටියට හම්බ වෙන දෙයින් අපට ඉහ ගහල ආඩම්බරෙන් ඉන්න පුලුවන් සමාජ තලයක අපිව හැම තිස්සෙම තිබ්බා...ඔව් මට හොදට මතකයි...
දවස දවස ඉතිහාසෙට එකතු වෙද්දි අප්පච්චිත් හෙමි හෙමින් වියපත් වෙලා...අපට දැනුණෙම නෑ...එයා විශ්‍රාම ගන්න කාලෙත් ලං වෙලා....පැහුණු කෙස්සයි ටිකින් ටික රැලි වැටෙන හමයි මගේ අප්පච්චි ටිකෙන් ටික වියපත් වෙලා කියලා ඉදහිට අපට මතක කලා..
අවාසනාවක මහත! ඔන්න ඔහොම කාලෙ ගෙවිලා යද්දි යටගිය දවසක අප්පච්චි සේවය කල කන්තෝරුවෙ සේවකයන් කීප දෙනෙක්ට විරුද්ධව සේවාලාභියෙක් නඩුවක් ගොනු කරලා..ඉහලම පැලැන්තියේ උන්නු නිලරජවරු කීප දෙනෙක් තමා ඔය අවක්‍රියාවට සම්බන්ධ වෙලා තිබුණෙ...ඒ දාමයේ අන්තිමටම හිටිය නිර්දෝශීම පුරුක තමා අපෙ අප්පච්චි...කොහොමින් හරි නඩුව විභාග කරන කාලෙ වෙද්දි ඔය වරද හැබෑවට කරපු නිලධාරීන්ගෙන් කීපදෙනෙක්ම මේ ලෝකෙන් සමු අරන්...තවත් කීප දෙනෙක් සේවය නිමා කරලා...අන්තිමේ මොකුත්ම නොකරපු අප්පච්චි තමා විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජිතයා වුණේ....ඉතින් නඩුව ආරම්භ වුණු දවසෙ ඉදලම අප්පච්චි එක්ක තනි නොතනියට මම එනවා මේ උසාවියට..නඩුව හැමදාමත් වගේ කල් යනවා...අපි එනවා..නඩුව කල් යනවා...අන්තිමේ අපි දෙන්නා මේ ගමනට කියන්නෙ "නඩුව කල් ගිය දවස අහගන්න යනවා" කියලා...ඉදලා හිටලා නඩුව අහන දවසට නඩුකාර උන්නාන්සේ අප්පච්චිට බොහෝම සැරට කතා කරනවා...නේක විද ලිය කියවිලි ගේන්න කියලා දොස්මුරේ දානවා...ඉතින් ඔහොම වෙද්දි මගේ අහිංසක අප්පච්චි එකී මෙකී නොකී වගකිවයුත්තන්ගෙ කන්තෝරු ගානෙ රස්තියාදු වෙනවා...මේවා දකින හැමවාරෙකම මම අප්පච්චිට කියන්නෙ මම නම් රජයෙ නිලධාරිනියක් වෙන්නෙ නෑ නෑමයි කියලා...මට අප්පච්චි ගැන දුකයි...
ඉතින් ඊලග නඩු වාරෙත් එනවා...ආයෙමත් මගෙ අප්පච්චි මමයි උසාවි යනවා...ගේන්න කියන ලිපි ගොනුව ඉහල පෙලේ රහසිගත පාරකින් කන්තෝරුවෙන් චුත වෙලා ගිහින්...අප්පච්චි බොහොම බයාදු විදිහට නඩුකාර උන්නාන්සෙට කාරණා කියනවා...උත්තමයා බොහෝම උදහස් වෙලා කෑකොස්සන් ගහනවා...උන්නාන්සෙ කියන හැටියට නම් රජයේ සේවකයෙක් උනහම නීතිය දැනගන්න ඕනලු...උසාවිය ගැන හොදට දැන ගන්න ඕනලු....ඔය ගෝරනාඩු අස්සේ මගේ වියපත් අප්පච්චි බොහෝම අසරණ වෙනවා මට පෙනෙනවා...මගේ ඇස් දෙකට කදුලු එනවා....මගේ අප්පච්චි මට රජෙක්....නැගිටලා ගිහින් "ඔන්න ඔහෙ අපි යමු අප්පච්චි යන්න" කියල කියන්න මට හිතෙනවා.....ඒත් මේකලු නීතිය.
මට මතක විදිහට අප්පච්චි අපට කවදාවත් හොරාකාපු සල්ලි වලින් කන්න අදින්න දුන්නෙ නෑ...මටයි මගේ පවුලෙ අනික් හැමෝටමයි පුලුවන් තරමින් සැප දීලා හොදට උගන්නපු අප්පච්චි කාගෙදෝ කෑදර කමකට වන්දි ගෙවනවා....මේවා මට උහුලන්න බැරුව යනවා බලා ඉද්දි....මොකද පුංචි සංධියේ ඉදලම අප්පච්චි කියන්නෙ මට මහා පතාක යෝධයෙක්....මගෙ ලෝකෙ හැමවෙලාවෙම අප්පච්චිගෙ හෙවනැල්ලෙන් වැහිලා තිබුණු හන්දා මට මතකයි මගෙ හිසට එක අවුරැල්ලකින් වැහි පොදේකින් වත් හිරිහැරයක් වෙලා නෑ...එහෙව් අප්පච්චි මෙහෙම අපරාධ කාරයො දඩුවම් ලබන උසාවියෙ අසරණයෙක් වෙලා ඉද්දි මගෙ හිත වාවන්නෙ නෑ...අප්පච්චි ඒක දන්නවා...ඒකයි එයා මා දිහා බලන්නෙ නැතුව ඉන්නෙ...
අප්පච්චි කවදාකවත් වැට මායිමක ආරවුලකටවත් පොලිසියට උසාවියට ගිහින් තිබුණෙ නෑ.....එහෙව් අප්පච්චි කෝමෙයි උසාවිය ගැන දැනන් ඉන්නෙ..මට අනන්ත අප්‍රමාණ අවස්ථා වල හිතෙනවා....ඒත් නීතිය මෙහෙමලු....එහෙමයි අප්පච්චි මම කෝප ගන්න හැම වෙලාවෙම මට කිව්වෙ...
රජෙක් වගේ හයියට උන්නට සමහර ප්‍රශ්ණ වලදි අප්පච්චි හරියට පුංචි දරුවෙක් වගේ කලබල වෙනවා...
ඒ හන්දම අසනීපෙන් බෙහෙත් බිබී ඉන්න අප්පච්චි උසාවි දවසට තනියම එවන්න හිතදෙන්නෙ නෑ අපට...
ඒ හන්දා තමා අප්පච්චිගෙ තනි නොතනියට හැමදාම අම්මා මාව එවන්නෙ....මට මතකයි මම පුංචි සන්ධියේ අප්පච්චි මාව සුලැගිල්ලෙන් අල්ලන් ඉස්කෝලෙට ගිහින් අරිනවා...උසස් පෙල පන්තියෙදිත් එදා වගේම මගෙ ආරක්ශකයා අප්පච්චි...පන්තිය ඉවර වෙනකල් පැයද දෙකද පැය පහද නොහිතා අප්පච්චි වාහනේ තියාගෙන මම එනකල් හිටියා....විශ්වවිද්‍යාලෙට ආව දවසෙත් මට මතකයි අප්පච්චි මම ඈතට යනකල් ගේට්ටුව ලග බලා උන්නෙ ඇහිපිල්ලම් නොගහා...එහෙව් අප්පච්චිගෙ ආරකශකයා වෙන්න මට මේ උසාවි බිමේදි සිද්ධ වෙලා...අප්පච්චි අසරණ වෙලා...මට එහෙම හිතෙනවා.....එදා වගේම අප්පච්චි තමා මගෙ අභිමානය...ඒත් විශ්‍රාම ගන්න ඔන්න මෙන්න තියෙද්දි අප්පච්චිට එන්න සිද්ධ වුණු මේ ගමන හන්දා එයාගෙ හිතේ කාලයක් තිස්සෙ ගොඩ නැගුණු අභිමානයට හානියක් වෙලා වගේ කියලා මට හිතුණා....වෙනදා වගේ නෑ නඩු දවස ලග එද්දි අප්පච්චි කල්පනා කරනවා වැඩියි...තරහත් යනවා...අප්පච්චි පව්...

"මෙම නඩුව .................... දිනය දක්වා කල් තබමි" යන හඩින් මගෙ කල්පනා ලෝකෙ ගැස්සිලා ගිහින් බිදුණා....විනිසුරු තීන්දුව අරන් රතුවුණ විඩාපත් මූණෙන් ඇවිදන් ආව අප්පච්චි හෙමිහිට මගෙ දිහා නොබලා වාඩිවුණා.....මම අප්පච්චි දිහා එක පාරම බැලුවා...හොරාට මා දිහා බලපු අප්පච්චි ඈත බලා ගත්තා....
කාලන්තරයක් තිස්සෙ අප්පච්චි ආසාවෙන් ගොඩ නගාපු අභිමානය තමා මම....එයාගෙ හැබෑ වෙච්චි හීනෙ තමා මම....ඉතින් මේ නඩු හන්දා මාව මේ උසාවියට ගෙන්නන් එන්න වෙන එකට අප්පච්චි දුක් වෙනවා...එයා හිතනවා මම ඒ ගැන අමනාපයි කියලා...

ඉස්සර පුංචි කාලෙ මගේ අතින් සෙල්ලම් බඩුවක් කැඩුණාම මම දුවන් යනවා අප්පච්චි ලගට....අම්මා කෑ ගහනවට බයේ...මාව ඔඩොක්කුවට අරන් අප්පච්චි මගෙ කදුලු පිහදාල කියනවා "කමක් නෑ මගෙ දෝණි ඕක හරිම පොඩි දෙයක්නෙ කියලා"...එහෙම කිව්ව අප්පච්චි උසස් පෙල පලවෙනි පාර ප්‍රථිපලේ බලලත් ඔහොමම කියලා මගෙ ඔලුව අත ගෑව මට මතක් වුණා... මම හෙමිහිට අප්පච්චිගෙ අතින් අල්ල ගත්තා...."හිතන්න එපා අප්පච්චි...උසාවි එන එක මට ලැජ්ජාවක් නෑ" කියන්න මට ඕනි වුණා....ඒත් හිතේ දුකට ඒ වචන පිට වුණේ නෑ....
අප්පච්චි මට මතක කාලෙ ඉදලා මගේ ආරක්ෂකයා...ඉතින් අප්පච්චිගේ හෙවණැල්ලෙන් හෙවණ ගත්තු මම මගෙ අප්පච්චිට තනි හයියට මේ ලෝකෙ ඕනම තැනකට යන්න එනවා....අප්පච්චි මගේ පණ..මම හිතුවා....

ඔන්න නඩු වාරෙ ඉවරයි....වෙනදා වගේම සෙනග එක්ක එලියට ආව අප්පච්චියි මායි පාර දිගේ ඇවිදන් ආවා....හිතේ හිර වෙලා තිබුණු දුකටයි තරහටයි මම අතොරක් නැතුව රජයේ සේවයට බණිනවා....උසාවියට නීතියට බනිනවා....අප්පච්චි සද්දයක් නෑ...මම අප්පච්චි දිහා බැලුවා....ඒ ඇස් වල කදුලු....මොනාදෝ කියා ගන්න බැරුව එයා හිර වෙලා....කොහොමත් කතාවට බර මම කිව්ව "අප්පච්චි මොනා කිව්වත් මම නම් මේ රටට අප්පච්චි වගෙ වැඩ කරන්නෙ නෑ....මොන තරම් අවංක වුනත් අන්තිමේ ඔය ටික තමා" කියලා....ගමන නතර කල අප්පච්චි මගෙ දිහා බලලා මෙහෙම කිව්වා..." අන්තිමේ ලැබෙන දේ මොනා වුණත් මේ රටෙන් ඉගන ගත්තු දෙයින් මේ රටට වැඩ කරන්න ඕන...හොද හරි නරක හරි ලැබෙන එක තමා ලෝක ධර්මය" අප්පච්චි කිව්ව දෙයින් මම නිරුත්තර වුණා....අප්පච්චී මම නුඹව අදහමි..නුඹේ ජීවන දර්ශනය අදහමි....ඒත් නොකල වරදට නුඹ වැනි උත්තරීතර පුරවැසියෙක් උසාවි බිමේ අසරණ කරන නීතිය සාධාරණ බව නොඅදහමි....මම මෙසේ දොස් තබද්දීත් අප්පච්චී නුඹ නිරාමිස සිතින් ඊලග නඩු දිනයටත් උසාවි එන බව මම දනිමි....එදාටත් අප්පච්චී අසලින් අප්පච්චීගේ වාරුවට මේ මග දිගේම ඒමට මම සිතාගතිමි...නඩු වාරය එසේ නිම විය....